ධම්ම පාරමී යන නාමයෙහි අරුත

ධම්ම යනු දැරීම් වේ. දැරීම් යනු තමා විසින් තම මනසේ රඳවාගෙන තිබෙන අදහස්, ආකල්ප සහ සිතිවිලි රටාව මතු කරන්නා වූ මූල පදනම වේ. එසේම ධම්ම යනු තම සිත තුළ ජනිත වන්නා වූ සිතිවිලි දරාගෙන සිටින ලෝභ සහ ද්වේශ මූලයන්ගේ ස්වභාවය වේ. පරමාර්ථ වශයෙන් ගත් කල, ධම්ම යනු මිනිස් සිත් සතන්වල පවතින්නා වූ ක්ලේශ මූලයන් මුලිනුපුටා දමමින් එකී සිත් සතන් නිවී සනසවාලීම මුල්කරගෙන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය වේ.

blank

ධම්ම දානය යනු, තම සිත තුළ පවත්වාගෙන ආ අදහස්, ආකල්ප සහ සිතිවිලි රටාවේ පදනම තම ඉලක්කයට ගැලපෙන සේ අත්හැරීමයි. එසේම, ධම්ම දානය යනු සිත තුළ ජනිත වන්නා වූ සහ සිතිවිලි හරහා මතු වූ ලෝභ, ද්වේශ මූලයන් ක්‍රියාත්මක වන්නට ඉඩ නොදී, ඒවා අත්හැරීමයි. පරමාර්ථ වශයෙන් ගත්කල, ධම්ම දානය යනු මිනිස් සිත් සතන් සුවපත් කිරීම මූලික කොටගෙන, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය, සැමට භාවිතාවට ගත හැකි සේ ලෝ සිසාරා බෙදා හැරීමයි; ප්‍රචාරය කිරීමයි.

ධම්ම පාරමී ලාංඡනයෙහි අර්ථය

ආලෝක දැල්ල:
මෙයින් පෙන්නුම් කරන්නේ, ධම්ම පාරමී වැඩසටහන යනු අඳුරෙහි ජීවත් වන්නන් සඳහාම දැල්වුණු පහන් සිළුව බවයි. එම දැල්ලෙහි විවිධාකාර වූ වර්ණ වෙනස්වීම්වලින් පෙන්නුම් කරන්නේ, විවිධ තරාතිරම්වලට, විවිධ ජාතීන්වලට සහ විවිධ ආගම්වලට අයත් නා නා විධ සමාජයන් වෙත මෙම දැල්ලෙහි එළිය, එනම් “ධම්ම පාරමී” වැඩසටහනෙහි ආලෝකය එකසේ විහිදුවන බවයි. එනම් “ධම්ම පාරමී” වැඩසටහන, ශ්‍රී බුද්ධ වචනය නව ආලෝකයක් යටතේ ධර්ම ප්‍රචාරණය හරහා සමාජයේ සෑම පැතිකඩකටම පැතිරවිය හැකි ශක්තියකින් යුක්ත බවයි.

පුස්ථකය :
මෙයින් පෙන්නුම් කරන්නේ , මානව සන්තානය සුවපත් කල හැකි ඒ සුපිරිසිඳු සහ නිවැරදිව ග්‍රන්ථාරූඪ කරන ලද ශ්‍රී සද්ධර්මයයි.

වෘත්තය :
මෙයින් පෙන්නුම් කරන්නේ, පෘථිවිය එනම් මහ පොළොවෙහි මූලික හැඩ තලයයි. ඉන් අදහස් වන්නේ, කිසිඳු භේදයකින් තොරව පිරිසිඳු බුද්ධ ධර්මය මුළු ලෝකය සිසාරා පැතිරවීමේ වුවමනාව, හැකියාව සහ ශක්තිය “ධම්ම පාරමී” වැඩසටහන සතුව පවතින බවයි.

අනුමෝදනාව

ධම්ම පාරමී සාමාජිකයෙකු වන මම විශාල වාසනාවන්තයෙකු වෙමි.
කුසල් රැස්කර ගැනීම සඳහාම වූ පින් කෙතක මම හිමිකරුවෙකු වෙමි.
කුසල් රැස්කර ගැනීම සඳහා කලාතුරකින් යමෙකුට ලැබෙන
මේ මහඟු අවස්ථාවෙන් මම උපරීම ප්‍රයෝජනය නෙලා ගනිමි.
දිනෙන් දින අත්හැරීම පුරුදු පුහුණු කල ජීවිතයකට
අවශ්‍ය මංමාවත් මම හැකි සෑම විටම විවර කර ගනිමි.

සහෝදරත්වයෙන්; එකාවන්ව; සහයෝගීව
මම පාරමී දම් පුරමි.
එක්ව මේ මහා පින්කෙත අස්වද්දවමි; සරුසාර කරමි.
මේ මහා පින් අස්වැන්න නෙලා ගනිමි.

අප හා ජීවත්වන සියලූම දෙනාහට බුදු දහමේ සිසිලස ලබා දීම සඳහා
හැකි සෑම විටම මම උත්සාහ කරමි.
දිනෙන් දින ධර්මයෙන් මම පෝෂණය වෙමි; මම ශක්තිමත් වෙමි.
මාගේ පරම යුතුකම වන, බුදු දහම ලෝ පුරා බෙදා හැරීමේ සුවිශේෂී ධර්ම දානයෙහි
කොටස්කාරයෙකු වන්නට හදවතින්ම කැපවෙමි.
වෙහෙස නොබලා ක්‍රියාකාරී වෙමි.

දස දහස් ගණනින් වූ අසරණ සිත්
ධර්මාවබෝධයෙන් ඒකාලෝක කරන්නට
මට කල හැකි යමක් වේද එය නොපිරිහෙලා ඉටු කරන්නටත්
මාගේ සහ මා ජීවත්වන සමස්ත සමාජයේ ශීල; සමාධි; ප්‍රඥා දියුණුව පිණිසම
ඇපවී; කැපවී නිවන් මාර්ගයේම ගමන් කරන බවටත්
මම මෙහිදී ප්‍රතිඥා දෙමි

සාධූ!!! සාධූ!!! සාධූ!!!

ප්‍රතිඥාව

බුදු දහම සමස්ත සමාජය පුරා බෙදා හැරීමේ සුවිශේෂී ධර්ම දානය
සාර්ථක කරගැනීම සඳහා
මවිසින් ලබා දුන්නා වූ දායකත්වය, කැපවීම සහ ඉන් මතු වුනා වූ අධ්‍යාත්මික චිත්තප්‍රීතිය මුල්කොටගෙන
ලැබෙන්නා වූ පුණ්‍ය ශක්තිය ආනුභාවයෙන්
හෙට දිනයේදී මෙවන් වූ අති උත්තම ධර්ම දානයන්හි නිරත වීමට
මට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා!!!

එමෙන්ම, මෙම කුසල් මගේ ශීල, සමාධි, ප්‍රඥා දියුණුව පිණිසම
මා හටත්, මාගේ නෑදෑ පරපුරටත්
මා හිත අහිත, දන්නා නොදන්නා සියලූම ලෝ වැසියන්ටත්
ලෝක පාලක, ශාසන පාලක සියලූම දෙවි දේවතාවුන් වහන්සේලාටත්
අනුමෝදනා වේවා!!!

අවසානයේදී, මාගේ මෙම දැහැමි ව්‍යායාමයෙන් ජනිත වන්නා වූ කුසල්
මා හට අමාමහ නිවනින් සැනසීම ලැබීමටම හේතු වේවා!!! වාසනා වේවා!!!

සාධූ!!! සාධූ!!! සාධූ!!!

blank
blank