jevigyka iy ls%hdldrlï

ධම්ම පාරමී පදනම මගින් දැනට සිදුකරමින් සිටින්නා වූ මහා පුණ්‍යමය ක්‍රියාකාරකම්

  1. දිවයිනපුරා විසිරී තිබෙන වැඩිහිටි නිවාස, වැඩිහිටි භාවනා යෝගාශ්‍රම” බවට පත්කිරීමේ මහා පූජෝපහාරය. මෙහිදී පහත සඳහන් අදියරයන් ක්‍රියාත්මක කරනු ලැබේ.
    1. “විශ්ව පාරමී සංගීත කණ්ඩායම” විසින් දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාසවෙත ගොස්, මානසිකව හෙම්බත්වී සිටින අසරණ වැඩිහිටියනට, සංගීතය රසවිඳීම තුලින් යම් හෝ මානසික සන්සුන්බවක් සහ සුවයක් ලබාදීම සඳහා සංගීත සැසි පැවැත්වීම.
    2. “විශ්ව පාරමී සංගීත කණ්ඩායම” විසින් පවත්වනු ලැබූ සංගීත සැසි වාරයන්ගේ අනතුරුව, යම් සුවයක් ලද අසරණ වැඩිහිටි සිත් සතන්, “භාවනාව වෙත යොමු කිරීමේ අරමුණ” සහිතව, ධම්ම පාරමී දායක දායිකාවන් විසින් එම වැඩිහිටි නිවාසවෙත ගොස් “භාවනාවේ වැදගත්කම” අලලා, වැඩමුළු පැවැත්වීම.
    3. ඉන් අනතුරුව, දිවයින පුරා පිහිටි පන්සල් ආශ්‍රිතව වැඩ සිටින ධර්මධර භික්‍ෂූන් වහන්සේලා උක්ත වැඩිහිටි නිවාස වෙතටම වැඩම කරවා, “භාවනාවෙන් නිවන කරා ගමන් කිරීමේ” ඒ උතුම් වූ මාර්ගයෙහි ප්‍රායෝගිකව ගමන් කිරීමට, එම වැඩිහිටියන් හට අවස්ථාව සලසාදීම.
    4. ඉනික්බිති, උක්ත එක් එක් වැඩිහිටි නිවාසයන් ආවරණය වන පරිදි, දිගින් දිගටම නොකඩවා, සතියේ සෑම දිනකම අවම වශයෙන්, දිනකට වැඩිහිටි නිවාස 4 ක හෝ 5 ක ජීවත්වන අසරණ වැඩිහිටියන් වෙනුවෙන්, ධර්මධර භික්‍ෂූන් වහන්සේලා එම වැඩිහිටි නිවාස වෙතටම වැඩම කරවා, “භාවනාවෙන් ලද දියුණුව” පවත්වාගෙන යාමට, භාවනා වැඩසටහන් පැවැත්වීම.
    5. භාවනාවෙන් යම් දියුණුවක් ලද සහ තව දුරටත් භාවනාවේ ගැඹුරට ගමන් කිරීමට කැමැත්තක් දක්වන සහ හැකියාවක් පවතින, එම වැඩිහිටි නිවාසවල ජීවත්වන වැඩිහිටි යෝගීන් සඳහා, භාවනාවේදී තමා මුහුණ දුන් ගැටළු සාකච්ඡා කිරීමට, “කමටහන්” ලබාදීමේ නිපුන ධර්මධර භික්‍ෂූන් වහන්සේලා, එම වැඩිහිටි නිවසවෙත වැඩම කරවීම.
    6. මෙම උදාරතර කටයුත්තේ නිරතවන, උක්ත සඳහන් එම ගරුතර සංඝ රත්නයට පූජෝපහාර දැක්වීමේ අරමුණ මුදුන් පමුණුවා ගැනීම සඳහා, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී, අතිපූජනීය සංඝයා වහන්සේලා හරසරින් වඩම්මවා වැඳ නමස්කාර කිරීම, සහ මෙවැනි උපහාර පිදීමේ වැඩසටහන් දිගින් දිගටම සිදු කිරීම.
    7. තම භාවනාමය කටයුතු පහසුවෙන් දෛනිකව සිදුකරගැනීමට උදව් කිරීම සඳහා, සෑම වැඩිහිටි නිවාසයකම සිටින සෑම වැඩිහිටියෙකුටම, භාවනාව සඳහාම නිෂ්පාදිත “භාවනා මෙට්ට” පූජා කිරීම.
    8. වැඩිහිටි යෝගාශ්‍රමවල ජීවත්වන අපගේම දෙමාපියන්ට සිල්රෙදි ලබාදීමෙන්, ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය භාහිර පරිසරය වඩා ශක්තිමත්ව ගොඩනගා දීම.
    9. අසරණව පැවති වැඩිහිටි නිවාස දිනෙන් දින වැඩිහිටි භාවනා යෝගාශ්‍රම බවට ක්‍රමානුකූලව පත්වීමේ ඒ මහා පරිවර්තනයට අදාළ බෞද්ධාගමික පරිසරයක් ගොඩනැගීම සඳහා, යටිතල පහසුකම් සැපයීම.
    10. වැඩිහිටි නිවාසවල පාලක පාලිකාවන්ගේ සහාය මේ මහා පින් පෙරහරේ සුවිශේෂී වැදගත්කමක් උසුලන නිසාම, ඔවුන් හදවතින්ම දිරිමත් කිරීම සඳහා සහ ඔවුන්ගේ සේවය ඇගයීම සඳහා, පළමු සැසිය කටුනායක එයාර්පෝට් ගාර්ඩ්න් හෝටලයේදී පවත්වනු ලැබූ අතර, එහි දෙවන සැසිය බත්තරමුල්ලේ වෝටර්ස්එජ් හෝටලයේදී පවත්වනු ලැබීම. තවද, මෙම ඇගයීම් සෑම වසරකදීම නොකඩවා සිදු කිරීම.
    11. අසරණව පැවති වැඩිහිටි නිවාස වැඩිහිටි භාවනා යෝගාශ්‍රම බවට ක්‍රමානුකූලව පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස සසුන්ගත වූ “වැඩිහිටි මව්වරුන් සසුන්ගත වීමේ මහා මංගල්‍ය”යට දායකත්වය සැපයීම.
  2. “දවසේ සිතුවිල්ල” සහ “සතිඅග සිතුවිල්ල” පූජෝපහාරය:        ධම්ම පාරමී මහා පුෂ්පෝපහාරයේ පළමු කුසුම සමාජය වෙත පූජා කලේ “දවසේ සිතුවිල්ල” නමිනි. සෑම දිනකම උදැසනින්ම මෙම “දවසේ සිතුවිල්ල” නම් වූ පුෂ්පය ධම්ම පාරමී සෑම සාමාජික මෙන්ම කල්‍යාණ මිතුරු දායක දායිකාවකගේම නෙතු අභියස පිපී සුවඳවත් වන අතරම, ධම්ම පාරමී – විශ්ව පාරමී අපේ සාමාජික සාමාජිකාවන් භාවනාවට යොමු කිරීමේ අටියෙන් “සති අග සිහි කැඳවුම” නම් වූ දෙවන කුසුමේ සුවඳද සතිපතා, ධම්ම පාරමී ඊමේල් ලිපිනය හරහා දසත පැතිරවීම.
  3. දහම් පොත්පත් මුද්‍රණය : ජාතික සහ අන්තර්ජාතික වශයෙන් කීර්තිමත්; ධර්මධර; දෙස් විදෙස් භික්‍ෂූන් වහසේලා විසින් රචිත හෝ උන් වහන්සේලාගේ දේශනා අලලා ලියැවුණු සුවිශේෂී දහම් පොත්පත්, ධම්ම පාරමී පදනම යටතේ සිංහලෙන්, ඉංග්‍රීසියෙන් මෙන්ම දමිල භාෂාවෙන්ද මුද්‍රණය කොට, නොමිලයේ ලොව පුරා බෙදා හැරීම.
  4. දහම් කරුණු ඇතුලත් CD තැටි, සහ Pendrives පූජා කිරීම :    ජාතික වශයෙන් කීර්තිමත්; ධර්මධර; ශ්‍රී ලංකික භික්‍ෂූන් වහසේලා විසින් දේශනා කරන ලද්දාවූ සුවිශේෂී ධර්ම දේශනා, සහ ත්‍රිපිටකයෙහි ඇතුලත් සූත්‍ර දේශනා ඇසීමෙන් තම සුතමය ඥානය මෙන්ම භාවනාමය ඥානය දියුණු කරගැනීම සඳහා, ඒවා CD තැටි වලට මෙන්ම, Pendrives තුල පිටපත් කොට නොමිලයේ බෙදා හැරීම.
  5. ධර්ම ශ්‍රවනය සඳහා CD යන්ත්‍ර පූජා කිරීම : ධම්ම පාරමී පදනම විසින් පලකරන ලද පුවත්පත් දැන්වීම් වලට අනුව, බෞද්ධාගමික ජීවිතයක් ගතකිරීමට වෙරදරන සහ ඒ අනුව ජීවත්වන, ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන ආගමික මෙන්ම ආගමික නොවන, “දහස් සංඛ්‍යාත වූ සමිති සහ කණ්ඩායම්” විසින් කරන ලද ඉල්ලීම් වලට අනුව, ධර්මය ශ්‍රවනය කළහැකි CD යන්ත්‍ර මෙන්ම, ධම්ම පාරමී පදනම මගින් මුද්‍රණය කරන ලද ඉහත ඡේද 2 සහ 3 හි දැක්වූ දහම් පොත්පත්, CD තැටි සහ Pendrives ඔවුන්ගේ නිවෙස් සහ කාර්යාලයන් වෙතම ගෙනගොස් පූජා කිරීම.
  6. ධම්ම පාරමී වෙබ් පිටුව :           ලෝකයේ කවර ස්ථානයක සිටියද ඒ ඕනෑම අයෙකුට ධම්ම පාරමී ක්‍රියාකාරකම් සහ බුදු දහමට අයත් සුවිශේෂී කරුණු රාශියක් සැනෙකින් දැනගතහැකි සේ, ධම්ම පාරමී වෙබ් පිටුවක් විවෘත කරන ලදී. එහිදී බුදු දහමේ මූලික ඉගැන්වීම්, විවිධ භාවනා ක්‍රම, බුදු දහමට සේවයකළ රජවරු, බුදු දහමේ ව්‍යාප්තිය, බුදුදහමට අදාළ දෙවිවරු, ධම්ම පාරමී වැඩසටහන්, බුදු දහමට සේවයකළ ප්‍රසිද්ධ මහා නාහිමි වරු, බුදු දහම නගා සිටුවීම සඳහා විශාල සේවාවක් කල වීරවරයන්, ධම්ම සංඝායනා, බුදුවරු පිලිබඳ විස්තර, අශෝක අධිරාජ්‍යයා සහ බුදු දහම, දේවානම්පියතිස්ස රජතුමා සහ බුදු දහම, බෞද්ධ වෙහෙර සහ විහාරස්ථාන පිළිබඳව බොහෝ විස්තර ඇතුලත් කොට එය යාවත්කාලීන කිරීම.
  7. Face Book පිටුව: Face Book පිටුව හරහාද ධම්ම පාරමී පදනම මගින් ධර්ම ප්‍රචාරයේ යෙදෙනු ලැබේ. දවසේ සිතුවිල්ල, සති අග සිහිකැඳවුම, වැඩිහිටි භාවනා යෝගාශ්‍රම පූජෝපහාරයන්   මෙන්ම, පවත්වන ලද ධර්ම දේශනා එක එල්ලේ Face Book පිටුව හරහා සමාජගත කිරීම. එසේම, මෙතෙක් ධම්ම පාරමී වැඩසටහන මගින් සංවිධානය කරන ලද ධර්ම දේශනා අන්තර්ජාලයේ යූටියුබ් වෙතින්, අවශ්‍ය ඕනෑම පින්වතෙකුට සැනෙකින් නැරඹීමේ සහ ශ්‍රවනය කිරීමේ අවස්ථාව උදා කිරීම.
  8. ධම්ම පාරමී පුස්තකාලය : බුදු දහමේ අතිශය දුලභ ග්‍රන්ථයන් ඒකරාශීකොට පුස්තකාලයක් බිහිකිරීමද මේ වන විට ධම්ම පාරමී විසින් සිදුකරමින් සිටී. එමගින් අත්‍යාවශ්‍ය ධර්ම ග්‍රන්ථයන් නිරන්තරයෙන් පරිශීලනය කිරීමේ අවශ්‍යතාවය පවතින ධම්ම පාරමී විශ්ව පාරමී ඕනෑම සාමාජිකයෙකුහට, මෙම මහඟු අවස්ථාවෙන් උපරීම ප්‍රයෝජන ලබා ගත හැක.
  9. ධර්මධර භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම දේශනා සංවිධානය : “අරණ” නම් වූ ධම්ම පාරමී සහ  විශ්ව පාරමී සැමගේ භාවනා පරිශ්‍රය සහිත ධාතු මන්දිරයෙහි පමණක් නොව, වැඩි පිරිසකට ධර්මය ශ්‍රවනය කල හැකි ස්ථානයන්හි ශ්‍රීලංකා වාසී ධර්මධර පූජනීය භික්ෂූන් වහන්සේලා වඩම්මවා, ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට අවස්ථාව සැලසීම.
  10. ධම්ම පාරමී අන්තර්ජාතික ධර්ම ප්‍රචාරය : ධර්ම පාරමී වැඩසටහනේ ධර්ම ප්‍රචාරනය ලක්බිමට පමණක් සීමා නොකොට, අන්තර්ජාතික වශයෙන්ද බුදුදහම සමාජගත කිරීමේ මහා සත්කාරයට අත්වැල් තැබීම. එහිදී “කැනඩාවේ සිලෝන් එක්ස්ප්‍රස් පුවත්පතෙහි” රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ඉංග්‍රීසියට පරිවර්තනය කොට ඵල කිරීමේ මහඟු පින්කම පමණක් නොව උන් වහන්සේගේ අතිශය සංවේදී ධර්ම දේශනා ඉංග්‍රීසියට පරිවර්තනය කොට, යුරෝපීය ජාතිකයෙකු ලවා හඬ කවා, අන්තර් ජාලයට මුදා හැරීමේ මහා ධර්ම විප්ලවයද සිදුකරමින් සිටීම.
  11. මහා සංඝරත්නය සඳහා කුටි තනා පූජා කිරීම : අට මහා කුසලයන්ගෙන් එකක්වන සිව්දිගින් වඩින මහා සංඝ රත්නය වෙත, තම වෙහෙස නිවාගෙන නවාතැන් ගැනීම සඳහා, සහ සුව පහසුව තම භාවනාමය කටයුතුවල නිරතවීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වන පරිදි “ලැගුම් – කුටි” තනා පූජා කිරීම.
  12. “අරණ” මහා පූජා භූමියෙහි “බුධපුද” තේවාව : අතිඋතුම් සර්වඥයන් ධාතූන් වහන්සේලා වැඩවසන මහා පුදබිමකි, කොළඹ 7 බාර්න්ස් පෙදෙසේ පිහිටි “අරණ” මහා භාවනා පරිශ්‍රය. එම මහා පින් බිමෙහි, භාවනාවට යොමුවුණු යෝගාවචරයන්ගේ භාවනාමය චිත්ත ශක්තිය කැවුණු තරංගවලින් නිරතුරු විකසිතවන සෞම්‍ය පූජනීයත්වය තව තවත් දෙගුණ තෙගුණ කරවමින්, සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දවසකම “බුධපුද තේවාව” පවත්වනු ලැබීම.
  13. මහා අට පිරිකර පූජාව : අටපිරිකර පූජාකිරීම යනු, අට මහා කුසල් වලින් ප්‍රමුඛතම ස්ථානය ගත්තාවූ සුවිශාල පුණ්‍ය කර්මය වේ. නමුත්, විවිධ හේතූන් නිසා නිවැරදිව පිළියෙළ කල අට පිරිකර වර්තමානයේ සොයාගැනීමේදී පවතින අතිශය දුෂ්කරතාවය හේතුවෙන්ම, ඊට පිලියමක් ලෙස ධම්ම පාරමී දායක දායිකාවන් විසින්, වෙන වෙනම ලබාගත් අංගයන් එකතුකොට, නිවැරදිව අට පිරිකර තම තමන්ගේ දෑතින්ම සකසා, මහත් භක්තියෙන් ගරුතර සංඝයා වහන්සේලා හට පූජාකළ හැකිපරිදි සූදානම් කරනු ලැබීම.
  14. චතුමධුර පූජෝපහාරය : භාවනායෝගී භික්ෂූන් වහන්සේලා රාත්‍රී ආහාරයෙන් වලකින අතර ගැඹුරු අධ්‍යාත්මික ගවේෂණයක නිරතවන බොහෝ ස්වාමීන් වහන්සේලා දන් වළදන්නේ දිනකට එක් වරක් පමණකි. මේ හේතුව නිසාම බේතක් හේතක් ලබාගැනීමට පෙර ආහාර නොගෙන සිටීමෙන් උන්වහන්සේලා විවිධ අසීරුතාවන්ට මුනුනපානා බව නොරහසකි.  චතුමධුර යනු,  ශ්‍රී බුද්ධ වචනයට අනුව අවේලාවෙදී වැළඳිය හැකි සුදුසු විකල්පයකි. ධම්ම පාරමී සාමාජික සාමාජිකාවන් චතුමධුර ඔවුන්ගේ දෑතින්ම නිවැරදිව, පිරිසිදුව, භක්තිමත්ව සකසා භික්ෂූන් වහන්සේලාට පූජා කරන්නට සංවිධානය වී සිටී.
  15. බුදු මැදුරු තිර රෙදි පූජෝපහාරය : සෑම විහාරස්ථානයකම බුදු ගෙයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. නමුත් බොහෝ බුදු මැදුරු තුල පූජනීය බුදු පිළිමය ආවරණයට යොදාගෙන ඇත්තේ නොගැලපෙන, දුර්වර්ණ වූ තිරරෙදි වේ. ඇතැම් බුදු පිළිම ආවරණය සඳහා තිරරෙදි නොමැති අවස්ථාද බොහෝමය. මෙම අඩුපාඩුව මගහරවමින්, ධම්ම පාරමීය විසින් බුද්ධ මන්දිර වලට තිරරෙදි සකසා දීමද සිදුකරනු ලැබේ.
  16. යතිවර කැපකරු පූජෝපහාරය : යතිවර කැපකරු පූජෝපහාරය යනු, රෝගී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් නන් අයුරින් සිදු කරන්නා වූ කැපකරු සේවය වේ. ශ්‍රී ලංකාවේ වැඩසිටින දේශීය මෙන්ම විදේශීය ජාතික රෝගී භික්ෂූන් වහන්සේලා හට, රෝගීව පසුවුවද ධර්මයෙහි හැසිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම මෙන්ම, වැළදී ඇති රෝගාබාධයන්ගෙන් සුවය ලබා ගැනීමට අවශ්‍ය සියලූම කටයුතු ධම්ම පාරමී පදනම  විසින් සිදු කිරීම.
  17. “බුද්ධගයා” පුෂ්පෝපහාරය : අපගේ ගෞතම බුදු රදුන් තම සංසාර ගමන කෙලවර කර ගැනීමේ මහා ව්‍යායාමයේ අවසාන වෑයම දැරූ බුද්ධගයාව නම් වූ අති පූජනීය ස්ථානය මලින් සුවඳවත් කිරීමේ දුර්ලභ වාසනාවෙන් ද, ධර්ම පාරමී පදනම පිදුම් ලැබූවේය. අනාගතයේදී, සෑම සතියකටම වරක් බුද්ධගයාව වන්දනාවට පැමිණෙන සෑම සැදැහැවතෙකුටම, අප ගෞතම බුදුන් බුදුවූ ස්ථානය වන්දනාමාන කර ගැනීම සඳහා අවශ්‍ය පුෂ්පයන් ධම්ම පාරමී පදනම විසින් නොමිලයේ බෙදා දීමට කටයුතු මේවනවිට සම්පාදනය කරමින් සිටී. ඊට අමතරම, අප මහා බෝසතුන් තවුස් දම තුලින් මහා බුද්ධත්වයට පත්වූ දිනයේ, එම ස්ථානයේදීම, එම පූජනීයස්ථානය වන්දනාමානයට පැමිණෙන ගිහි පැවිදි දෙපාර්ශවයටම, වාර්ෂිකව සිදුකරන්නා වූ උදෑසන “දානමය පිංකම” මෙන්ම “මල් දන්සැල” පැවැත්වීම.
  18. පිරුවානා පොත්වහන්සේ පූජෝපහාරය :           නිවැරදිව සැකසු ධර්ම කරුණු ඇතුලත් “පිරිවානා පොත් වහන්සේ” නමක් ලංකාව තුල පිහිටි 12,000 කට අධික වූ සෑම විහාරස්තනයකටම ලබා දෙමින්, අපගේ උතුම් වූ යතිවර පරපුර අතීතයේදී බුදු දහම රැකගැනීම සඳහා සිදුකල මහඟු සේවය සිහිගන් වන්නට, භක්තිමත්ව කටයුතු සිදුකිරීම.
  19. ධම්ම පාරමී දායක දායිකාවන් සඳහාම සංවිධානය කල ශීල ව්‍යාපාරය : තමාව අවබෝධ කරගැනීම සඳහා, තමා දෙසම බැලීමම හැර අන් කිසිඳු ක්‍රමයක් නොමැති බව, ධම්ම පාරමී විශ්ව පාරමී සැවොම අවබෝධ කරගනිමින් සිටින නිසා, එසැවොම සඳහා එක්දින සීල ව්‍යාපාර සැසි, අපගේ ආධ්‍යාත්මික දේවස්ථානය වූ බාර්න්ස් පෙදෙසේ පිහිටි “අරණ” සහ නාත්තන්ඩියේ පිහිටි “අරණ” මූලික කොට  පැවැත්වීම.
  20. අතිපුරාණ විල්ගම්වෙහෙර රජමහා විහාරස්ථානය ගොඩනැගීම :
    1. නැගෙනහිර පළාතේ, සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි විල්ගම්වෙහෙර රජමහා විහාරස්ථානය ක්‍රිස්තු පූර්ව යුගයට දිවෙන, වසර 2200 කට වඩා වැඩි ඉතිහාසයක් ඇති, කාවන්තිස්ස රජ සමයේ ඉඳිවුණු, අති පෞරාණික විහාරස්ථානයකි. මෙම මහා පින්බිමෙහි වැඩ වාසය කරන ගරුතර සංඝරත්නයට, තම පැවිදි වෘතය ඵලදායි ලෙස සමාජගත කිරීම සඳහා අවශ්‍ය ධර්ම ශාලාව, දාන ශාලාව, මුළුතැන්ගෙය, තෝපූර් වැව මධ්‍යයේ කුටි 20 කින් යුතු සංඝාවාසය සහ බෝධි ඝරය මේ වනවිටත් අලුතින්ම ධම්ම පාරමී පදනමේ මූලික මෙහෙයවීමෙන් සහ පූර්ණ දායකත්වයෙන් ඉඳි කරමින් පැවතීම.
    2. නුදුරු අනාගතයේදීම බුද්ධ මන්දිරය, විශ්‍රාමශාලා, ප්‍රථමාධාර ශාලාව, මල් ලබා දීමේ කුටි, ජලනල පද්ධතිය, විදුලි ජනක කාමරය සහ පද්දතිය, ප්‍රධාන ද්වාරය මෙන්ම, රථවාහන අංගනද ඉඳි කිරීමට කටයුතු කෙරේ.

මේ මහා පින් පෙරහැර දිනෙන් දින ශක්තිමත්ව තුන්ලොව සිසාරා හමායන්නා වූ අතිශය ප්‍රයෝජනවත් පෙළහරක් බවට පත්වේවා.!!!

සියලූම දිව්‍ය රාජ සමූහයා මේ මහා ශාසනික මෙහෙවරින් මතුවන්නා වූ පින්

 අනුමෝදනා කරත්වා!!!

අවසානයේදී, සැවොම එක්ව එකාවන්ව පුරමින් යන්නා වූ මේ සුවිශේෂී පාරමිතා ගමනින්

ජනිත වන්නාවූ කුසල් “එසැමගේ ශීල, සමාධි, ප්‍රඥා දියුණුව පිණිස”ත්,

අවසානයේදී නිවනින් සැනසීම පිණිසත්,

හේතු වේවා!!! වාසනා වේවා!!!   

සාධූ !!! සාධූ !!! සාධූ !!!