සිතක තියෙන සුවය සැනසීම තැන්පත් බව කියන්නේ ජීවිතයට ලොකු පහසුවක්. ඒ නිසාමයි අප අමාමෑණි ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දාන, සීල, භාවනා යන ත්‍රිවිද පුණ්‍යක්‍රියාවන්ගෙන් උතුම්ම ක්‍රියාව භාවනාව බව සම්බුද්ධ දේශනාවේ දී සඳහන් කර තියෙන්නේ. අපගේ ජිවිතයේ වැදගත්ම අංගය වන සිත පිරිහෙන්න නොදී අප ජිවත් වෙන කෙටි කාලය තුළ රැක ගැනීම මෙලොවට මෙන්ම පරලොව සැකස්මටත් ඉතාමත් උපකාරී වේ. නමුත් එය පහසු කටයුත්තක් නොවන අතර භාවනාව සඳහා නිවැරදි වූ කමටහන් ලබා ගත යුතුය. විශ්ව පාරමී පදනමේ සියලු දෙනාටත් අප කල්‍යාණ මිත්‍ර සැමටත් ඒ සඳහා ඉතාමත් භාග්‍යවන්ත අවස්ථාවක් නොසිතූ මොහොතක උදා විය. එනම් නිර්මල බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් රටවල් පුරා වඩිනා, තායිලන්තයේ සුවිශේෂී ස්වාමින්වහන්සේනමක් වන අති පූජ්‍ය Luang Ta Narongsak ස්වාමින්වහන්සේගේ කමටහන් ලබමින් භාවනායෝගීව ගත කරන්නට ලැබීමේ වාසනාව හිමි වීමය.
අතිපූජ්‍ය Luang Ta Narongsak ස්වාමින්වහන්සේ, පූජ්‍ය ජර්මනියේ Visuddho ස්වාමින්වහන්සේ, අනිකුත් පූජනීය ස්වාමින්වහන්සේලා, මෙහෙණින් වහන්සේලා දෙනමකගේ වැඩමවීම ඇතුළු උගත් තායිලන්ත දුත පිරිස ජූලි මස 5 වන සිකුරාදා දින ලංකාවට පැමිණිම ඉතාමත් භක්ත්යධාරයෙන් යුතුව විශ්ව පාරමී පදනම විසින් පිළිගන්නා ලදී.
මෙම ගෞරවණිය දූත පිරිස 6 වන සෙනසුරාදා අළුයම කැළණිය රජමහා විහාරය වන්දනාමාන කර ගැනීමට ද සහභාගී විය.
එදිනම බාර්න්ස් පෙදෙසේ පිහිටි අරණ දහම් නිකේතනයේ අප සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් භාවනාව හඳුන්වා දීමේ ධර්ම සාකච්ඡාවක් උදෑසන 10 සිට පැය දෙකහමාරක කාලයක් පවත්වන්නට යෙදුනි.
අනතුරුව ස්වාමින්වහන්සේලා ඇතුළු දුත පිරිස විශේෂිත ආරක්ෂාවක් මධ්‍යයේ හැටන් බලා වැඩමකරවන්නට විය.
සෞම්‍ය දේශගුණයක් ඇති හැටන් ප්‍රදේශයේ ආර්ගයිල් හෝටලය පිහිටා තිබුනේ මීදුමෙන් ගැවසුණු කඳු යායකින් හෙබි ඇසත් මනසත් තැන්පත් කරන මනරම් පරිසරයක් තුළය.
එක් පසෙකින් ශ්‍රී පාදස්ථානය දිස් වන මෙවන් පරිසරයක් සිත එක්තැන් කර ගැනීම සඳහා කදිම තෝතැන්නක් විය. සිතෙහි ඒකාග්‍රතාවය ආරක්ෂා කරගැනීමට පරිසරය ද ඉවහල් වන බැවින් බැතිමතුන්ට මෙම වැඩසටහන පුරාවටම උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම පිණිස මෙවන් ස්ථානයක් තෝරා ගැනීම ද අපගේ මූලික අරමුණක් විය.
මෙම දෙදින භාවනා වැඩසටහන සඳහා විශ්ව පාරමී සහ කල්‍යාණමිත්‍ර සාමාජික සාමාජිකාවන් 91 දෙනෙක් සහභාගී වූ අතර ඒ සියලු දෙනාටම ප්‍රවාහන පහසුකම්, නවාතැන් පහසුකම් සහ දානය විශ්ව පාරමී පදනමේ අනුග්‍රයෙන් ලබා දෙන ලදී.
ජූලි මස 7 වන දින සවස Luang Ta Narongsak ස්වාමින්වහන්සේ විසින් භාවනාව හඳුන්වා දීම සිදු කරන ලදී. 8 වන දින උදෑසන 5 සිට රාත්‍රිය දක්වාත්, 9 වන දින උදැසන 5 සිට දහවල දක්වාත් භාවනා වැඩසටහන පවත්වන්නට යෙදුනි. මෙම කාලය පුරාවටම බැතිමතුන් පිරිස ඉතාමත් උද්යෝගයෙන් සහ කැපවීමෙන් තමන්ට ලැබුණු මෙම ස්වර්ණමය අවස්ථාව අපතේ නොයවා භාවනාවේ යෙදී සිටින අයුරු දැක ගැනීමට හැකි විය.
අති පූජ්‍ය Luang Ta Narongsak ස්වාමින්වහන්සේ තායිලන්ත භාෂාවෙන් වැඩසටහන මෙහෙය වූ අතර ජර්මනියේ Visuddho ස්වාමින්වහන්සේ විසින් එය ඉංග්‍රීසී භාෂාවට පරිවර්තනය කොට ඉදිරිපත් කරන ලදී. මෙහි සිංහල පරිවර්තනයක් ද බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ඉදිරිපත් කරන ලදී. තායිලන්ත මෙහෙණින් වහන්සේලා දෙනමක් සහ එහි සාමාජික සාමාජිකාවන් තිදෙනෙක් මේ සඳහා සහභාගී වී සිටි අතර වැඩසටහන පුරාවට ඒ සියළුම දෙනා ඉතාමත් සුහදශීලි සහ මිත්‍රශීලි ලෙස භාවනාමය ගැටළු නිරාකරණය කර ගැන්මට සහයෝගය ලබා දීම සියලු දෙනාටම පහසුවක් විය.